කැලෑවේ ඇතුළත නෙවේ කොහේ හරි එළිමහනක හොර බිස්නස් එකක් කෙරෙන්ඩ ගියොත් අංශක 360ට බෙල්ල කරකවල බලන්නේ - බෙල්ලවත් දන්නේ නැතිව. වලිකුකුළාට කැලෑ කොළ හතක් පලාගෙන අෑත දුරක් පේනව කිව්වට හොරාට, කපටියා, කයිරාටිකයාට ඊට වඩා කිලෝ මීටර් ගාණක් දුර පේනව.
වෙල් ඉපනැල්ලේ වැව් තාවුල්ලේ උට්ටීරියන් කෑගහන හඩින් එහෙම නැත්තන් කොහේ හරි ගහක් උඩ ඉඳගෙන වඳුරු රිළා නාම්බෙක් කෑගහන සද්දෙන් පේන කියන්න පුළුවන් අය ගම්වල ඉන්නව. බල්ලෝ බුරන විදිහෙන් කියනව පොලිසියෙන්ද නැද්ද කියලා.
ඒ කියන්නේ අපිට නොදැනුණාට සිවිල් ඇඳුමෙන් එන පොලිසියේ මහත්තුරුන්ට බල්ලෝ බුරන සද්දෙයි ගමේ ගොඩේ රස්තියාදු ගහන අපේ අයියලාට බුරන සද්දෙයි වෙනසක් තියෙනවා. කොච්චර අහගෙන හිටියත් අපිට නම් ඒක නිකම්ම එකම "බව් බව්වක්" තමයි. ඒත් ඒ හඬ ඇතුළේ තවත් හඬක් එයාලට ඇහෙනවා.
මෙන්න මේ විදියටයි මෙහෙමයි හඬවල් දෙකේ වෙනස හොයන්නේ, හඳුනාගන්නේ කියල තේරුම්කරල දෙන්න, කෙනකුට අවබෝධ වෙන විදියට කරුණු කාරණා පහදල දෙන්න එයාලට හැකියාවක් නැතත් ඒ ශක්තිය උපතින් උරුම වූ දෙයකට වඩා පරිසරයට අනුව හැඩ ගැහීම උඩ සිදුවූ දෙයක් බව වැටහෙනවා. ඒ වගේම තමයි ඒ පරිසරය ඇතුළේ ඉඳගෙන එයාල කරන සුවිශේෂී හොයා ගැනීම්, නිෂ්පාදනවලට නවීන තාක්ෂණයත් පරදින අවස්ථා එන්න එන්නම වැඩිවෙන තත්ත්වයක් පේන්ඩ තියෙන්නේ.
දන්නවද මේ අලුත්ම සොයාගැනීම මොකක්ද කියලා. වල්ලාපට්ට, මැලියම්, වල්ලාපට්ට මැලියම් කිලෝ එක දන්නවද කීයද කියල. කෝටි එකහමාරත් පැනල යනවලු. 'ලු' නෙවෙයි යනවා. ඒ ආරම්භක මිල. ඒ කියන්නේ, බෙන ඇතුළෙන් ගත්ත කළු වල්ලාපට්ට කිලෝ එකට මුලින්ම මිල ආවේ පන්දාහට අඩුවෙන්. පහ දහය වුණා. දහය පනස්දාහ වුණා. පන්දාහ ගාණේ, ගෝනි ගණන් පටවපු උන් හූල්ලනකොට දැන් ඒ කිලෝ එකම කෝටියකට ආසන්න ගාණකට ඇවිත්.
මොකද කියන්නේ. එච්චර මිලක් වටිනාකමක් තියෙනවානම් අපිත් හදමුද වල්ලාපට්ට මැලියම් ටිකක්. ටිකක් කියන්නේ කිලෝ එකක්. හදාගත්ත කියන්නේ කෝටි එකහමාරක් අතේ.
වකුගඩු නරක්වෙලා ඇඳට වැටිල ඉන්න දරු පැටියට වකුගඩු දෙකක් බද්ධ කරන්න ආණ්ඩුවේ ඉස්පිරිතාලවල පෝලිමේ අවුරුදු ගණන් බලාගෙන ඉන්න ඕන නෑ. බස් එකේ, කෝච්චියේ තෙරපීගෙන පොඩිවීගෙන තවත් ගමන් බිමන් යන්න ඕන නෑ. එක වේලක් කාපු වෙලාවේ ඉඳලා අනෙක් වේලට උයාගෙන කන්ඩ මොනවද හොයාගන්නේ කියලා දහ අතේ කල්පනා කරමින් දුක් විඳින්ඩ ඕන නෑ.
කෝටි එකහමාරක් කියන්නේ ඇඟපතට දැනෙන්ඩ දෙයක් කරගන්ඩ පුළුවන් මුදලක් නේ. අනුන්ට පේන්ඩ ලක්ෂ දහයක විස්සක රත්තරන් ඇඟේ පුරවගත්තම තවත් කෝටියක් දෙකක් ණයට යන්ඩ පුළුවන්. අලුත් යාළුවොත් හැදෙයි.
මේ ළඟකදි නිල්දණ්ඩාහින්නේ මඬුල්ල පැත්තේ ගමකට නාඳුනන මිනිස්සු තුන් හතරදෙනෙක් ඇවිල්ලා ගමේ කීපදෙනෙක් ගැන හොයල තියෙනවා. නමක් ඉන්න තැනක් හරියට කියන්ඩ දන්නේ නෑ. හැඩහුරුකම් විතරයි කියන්ඩ දන්නේ.
එහෙම අහනකොට කවුරු ගැනද මේ අහන්නේ කියල හිතාගත්තත් කවුද කියන්නේ. මොකට මොනවට හොයනවද කියලා කොහොමද දන්නේ. මුලින් දවස් දෙක තුනේ ගමේ මිනිස්සුන්ගේ තිබුණ බය නැතිවෙලා ගියා. ආගන්තුකයෝ ටිකක් දවස ගාණෙම ඇවිල්ල ගමේ මිනිස්සු එක්ක ඇයි හොඳැයිකම් ඇති කර ගත්තා.
කිතුල් රා කටු දෙක තුනකට සල්ලි ගෙව්ව ගමන් ඕන නයි පැටියෙක් මල්ලේ දාගන්න එක සමහර ගම්වල නිකම් ඉන්න උන්ගේ සිරිතක්. දවස් ගාණක් ඒ විදියට දේවල් සිද්ධ වුණාට පස්සේ තමයි හරියට දේවල් දැන ගන්ඩ ලැබුණේ.
පොඩි බිස්නස් එකක්වෙලා දැනට සති දෙකකට විතර ඉස්සර. පොඩි බිස්නස් එකක් කිව්වට කිලෝ පනහකට වැඩියිලු.
ඔව්! වල්ලාපට්ට පට්ට තමයි. ඒ වුණාට කළු එක නෙවෙයි. පුහ්! කළු එකෙන් පනහක් දීගන්න ලැබුණ නම් ඊළඟ සැරේ මහ ඡන්දෙටත් ඉල්ලන්ඩ තිබුණා.
මේ විකුණල තියෙන්නේ කළු එක නෙවේ දුඹුරුපාට එක. ඒ කියන්නේ කළු ඉටිවගේ හැදෙන වල්ලාපට්ට ගහේ කුණු බෙනේ යටට ජල සීරාව කාන්දුවෙලා කළුපාට චූටි ඉරි සහිතව හැදෙන ගැටිත්තක්. හරියට මෝරපු කිතුල් පොල්ලක දිගට වැටිල තියෙන කළු දුඹුරු ඉරි වගේ වයිරන් තියෙන කොටස. සුදු පොත්ත රැහැල ඔය එක බේරල ගත්තම ඒක තමයි දුඹුරු වල්ලාපට්ට කියන්නේ.
මුල් කාලෙදි කළු කිලෝ එක දහපහළොස් දාහට යන කාලෙ මෙව්ව ශත පහකට ගත්තේ නෑ. දැන් මිල ඇවිත්. හැට දාහක්. ඒ වාගේ කිලෝ 52ක් තමයි රත්නපුරේ කට්ටිය මේ ගමේ කාගෙන් හරි සල්ලි දීල අරගෙන ගිහින් තියෙන්නේ.
හැට ගාණෙ කිලෝ පනස් දෙකක් කියන්නේ කෝටි හයක්නේ. ඒ තරම් මුදලක් යටකරල බඩු ගෙනියන්නේ තවත් කොයිතරම් මුදලක් වැඩියෙන් හම්බ කරන්න පුළුවන් ෂුවර් එකක් තිබිලද.
එයාල කරන්නෙත් ඒ බඩු අරගෙන ගිහින් තවත් බයර් කෙනකුට විකුණන එකනේ. එතෙන්ට ගියාම තමයි වැඩේ සුම්මා වුණේ. මේ වල්ලාපට්ට නෙවේ වෙන ගස් වර්ගයක්. මඬුල්ල පැත්තේ හැදෙන "වාහා" කියන ගස් වර්ගයේ ලී කෑලි. ලීයෙ පාටනම් හරියටම හරි. එයට කිට්ටු සුවඳකුත් එනව.
ඉස්සරවෙලාම කිලෝ හැටම එක තැනකට ගේන්නෙ නෑනේ. ගේන්නෙ සාම්පල් කෑල්ලක් දෙකක් විතරයි. එතැනදී බලන බඩු හරිනම් අනිත් එව්ව ගැන ඒ තරම් සැක කරන්නේ නෑ. සැක හිතිල චෙක් කරද්දි බැරි වෙලාවත් බොරු බඩු වෙලා තිබුණොත් අම්බානක පෝරියල් කියල දන්න හින්ද හුඟක් වෙලාවට එහෙම දේවල් වෙනව අඩුයි.
කලින් බලපු සාම්පල්වල හැටියට අනෙක් 52ක් ඇස් මට්ටමට ඒ වගේ පේන්ඩ ඇති. හරි දෙයක් දැක්ක ගමන් ඕන කෙනෙක් කල්පනා කරන්නේ ටක්ගාල සල්ලි දීලා බඩුටික අරගෙන මාරුවෙන්ඩනේ. කෝටි හයක් දීල ගත්තු ඒ වයෙන් අඩුගාණේ තවත් කෝටි දෙකක්වත් හොයා ගන්ඩ පුළුවන් කියල දැනගෙන ඉගිළෙන්ඩ ඇති.
දැන් ඉතින් හොර බඩු දීල සල්ලි ගත්තු උන් හොයාගෙන ගෙවල් ගාණේ ඇවිදිනව. මුලදිනම් ආවේ ගහන්න මරන්න බලාගෙන වෙන්ඩ ඇති. නැත්තන් උස්සගෙන යන්ඩ. ඒත් දැන් හොයන්නේ ඉතිරිවෙලා තියෙන සල්ලි ටික ඉල්ලා ගන්ඩ.
සල්ලි අරන් පැනපු උන් ගමේ පැත්ත පළාතක නෑ. ඒත් එයාලගේ අම්ම තාත්තා, ඥාතීන් හිතවතුන්, එහෙම නැත්තන් අඹුදරුවෝ හම්බෙන්න ගිහින් දවස ගාණෙ කංකෙඳිරි ගානව ඉවරයක් නෑ.
දෙගොල්ලට බිස්නස් එක කරන්ඩ බේරා්කර් වැඩේ කරල තියෙන්නේ වැලිමඩ පැත්තෙ මේසන් බාස් කෙනෙක්. සේරටම කලින් මිනිහ ගෙදරින් ගමෙන් පැනල. දෙපැත්තෙන්ම ගාණ ගත්තු මිනිහා මේ කෙරුවේ හරි කෙළින් බිස්නස් එකක් කියල දන්නව නම් බය නැතිව ගෙදර ඉන්ඩ ඕනනේ. දැන් මේ පැනල ඉන්නේ මිනිහ දැනුම්වත්ව තමයි හොර වල්ලාපට්ට විකුණන්ඩ ඇත්තේ.
එහෙම නැත්තන් වැඩේ වැරදුණ ගමන් බඩු ගත්තු කට්ටිය ටෙලිෆෝන් එකෙන් හොඳට අමතන්ඩ ඇති. කොහොමින් කොහොම හරි දැන් බාසට ගෙදර ඉන්ඩත් නෑ.
ආසාවෙන් බැඳගත්තු ගෑනියි දරුවොයි එක්ක නිදහසේ ගෙදර ඉන්ඩ නැත්තන් සල්ලි කොළගොඩ උඩ නිදාගත්තත් වැඩක් නෑ කියල දැන්නම් ඒ දෙගොල්ලන්ටම හිතෙනව ඇති.
ඔය වගේ දේවල් හින්ද වල්ලාපට්ට තියෙනව කිව්වට දැන් බිස්නස් කරන්නේ ටිකක් හොයල බලල විශ්වාසය දිනාගත්තු පළපුරුදුකාරයෝ කීපදෙනකු අතර විතරයි.
අනෙක් අෑයෝ බොරුවට කැලේම තියෙන ගස් පෙරළලා කෑලි කරගෙන බලන් ඉන්නව ගන්ඩ කෙනෙක් එනකම්.
අර ගාණට, මේ ගාණට ගන්නව කියල කපන්ඩ කියපු කිසි කෙනෙක් නෑ. සති ගාණක් හතර අතේ පනිවිඩ යවල ගැනුම්කාරයෙක් හරි බේරා්කරයෙක් හරි ගෙන්න ගන්නව.
ඇවිල්ල බලපු ගමන් මූණවල් අට කරගන්නවා. එක් කෙනකුගේ නෙවේ. ගන්න විකුණන දෙන්නගෙම. ගන්ඩ ආව කෙනා වල්ලාපට්ට ලී කැබැල්ල නහය ළඟට අරගෙන ඉඹලා පැත්තකට විසිකරපු ගමන් දාහක් බලාපොරොත්තු තියාගෙන බලා ඉන්න අයිතිකාරයගේ මූණ දැක්කාම සංසාරේ එපා වෙනව.
ඇයි දෙයියනේ ගහ පෙරළලා, ගැටිති තියෙන තැන් නැත්තන් නැවිලා ඇඹරිලා, විකෘතිවෙලා තියෙන කුට්ටි, අතේ කරගැට එනකම් කපල දවස් ගාණක් තිස්සේ ටික ටික රැහැල එකතු කරපුවා. කොයි තරම් මහන්සියක්ද.
ඒ විතරක් නම් කමක් නෑ. කැලේ බලාගන්න කැලෑ මහත්තයට කන්ඩ බොන්ඩ දුන්න එව්වා. එයානේ වල්ලාපට්ට ගස් පෙන්නල දුන්නෙත්, ඉතින් ඒව නෙවෙයි කපල තියෙන්නේ කියන්නේ කොහොමද. මට වැඩිය මේ ගැන හිතාගෙන ඉන්නේ එයා. දැන් ඉතින් වහ කනව මීට වඩා හොදා.
....... වැස්සට තෙමිල. බඩු තෙමුණාම පුස් අල්ලනව. පුස් අල්ලනව කියන්නේ සුවඳ නෑ. ඊට පස්සේ ඉතින් මිලක් ගන්නව කියන්නෙ බොරු....! හැම තැනම වෙලා තියෙන්නේ මේ වැඩේමනේ. සමහර මිනිස්සු ළඟ කිලෝ හාර පන්සීය තියෙනවා. අපරාදේ!
ඊට පස්සෙ තමයි එයා උපදෙස් දෙන්නේ කෙරෙන්න ඕන විදිහ පැහැදිලි කරමින්.
....... කෑලි ටික ගාණට කපල අරගෙන ලන්ච් පේපර් වගේ දෙයක ඔතල අව්ව වැටෙන්නේ නැති තැනක තියන්ඩ ඕන. අව්ව වැඩි වුණත් වේලුණාම සුවඳ අඩු වෙනවා. මෙව්ව ගෙනියන්නේ මොනවටද කියල දන්නවනේ. පහුගිය කාලෙ පත්තරවල පිටුගණන් ලියල තිබුණේ. පිටරටවලට අරගෙන ගිහින් ලක්ෂ ගණන් වටිනා සුවඳ විළවුන් වර්ග හදන හැටි සුවඳ ගන්ඩනම් සුවඳ තියෙන එව්ව අපි දෙන්ඩ ඕන.
බඩු ගෙනියන්ඩ ආපු මිනිහ තවත් මොන මොනවද බයිල වගයක් කියාගෙන යනව. ඒත් කැපුම් කාරයට ඒ එක වචනයක්වත් ඇහුණේ නෑ. එයාගේ හිතේ තියෙන්නෙම අදින් පස්සේ මූණ දෙන්ඩ වෙන අලුත් ප්‍රශ්න. ගස් කපන්ඩ හවුල්කරගත්තු දෙතුන් දෙනාට පඩි ගෙවන්නෙ කොහොමද කියල.
ඊයේ රෑ වෙනකම් හිතපු හීනය. ගෙදර කාටවත්ම නොකියා ගිහින් බයික් එකක් හරි කාර්එකක් හරි ගෙදරට අරන් එන හැටි චහ්!!
ඔය සිද්ධියම තමයි හුඟක් තැන්වල. හැබැයි ගාණට නූලට වැඩේ දිගටම කරගෙන යන කට්ටියත් ඉන්නව. ඒත් මේ වෙනකොට බොහෝ කැලෑව රක්ෂිත වනාන්තරවල පවා වල්ලාපට්ට ගහ විනාශ කරල ඉවරයි. අධික වටිනාකමකින් යුත් මේ දුර්ලභ ශාකය රට පැටවුණේ ටිකයි. අනෙක් සේරම කිසිම දෙයක් දන්නේ නැතිව කපන්නන් වාලෙ කපා දමලා විනාශ කරපුවා.
කවුරු හරි වල්ලාපට්ට තියෙනවද කියල අහපු ගමන් දුවගෙන ගිහින් ගස් පෙරළා දාපු අපතයෝ ඕන තරම්. දැනුත් එහෙමයි. කොයිතරම් තහංචි මුරකාවල් දාල තිබුණත් ගස් කපන්ඩ බලාගෙනම සැදී පැහැදී සිටින කට්ටියක් ඉන්නව.
ඒ නිසා මෙතෙක් රැකිලා තියෙන ගස් ටිකෙයි රටෙයි, වාසනාවටද කොහෙද වල්ලාපට්ට මැලියම්වලට ඉල්ලුමක් ඇවිත්. කඳේ මැද මුල අග කියල නෑ. පොත්ත ඇතුළේ පිපිරුමක් ඇතිවෙලා තියෙන තැනින්. එළියට ගලාගෙන ඇවිත් ගල්වෙලා තියෙන ඉස්ම හරියට කජු ගහක් තුළ තැනින් තැන පෙරී තියෙන කජු මැලියම් වගේ. අන්න ඒ ටික හොයාගන්ඩ පුළුවන්නම් ගොඩ.
කලින් කට්ටිය රට පැටෙව්ව කළු එක වගේම සුවඳයි. ඒත් කළුපාටට හුරු දුඹුරු පැහැයක් මේ මැලියම්වල තියෙන්නේ. කරුවල තැනක තියල ගිනි තිබ්බොත් නිලා කූරක් පත්තුකෙරුව වගේම තමයි. පට පට ගාල නිල්පාට ගිනි පුපුරු විසිකරමින් පත්තු වෙනවා. පුදුම සුවඳක්. ඒ හින්ද කාටවත්ම වල්ලාපට්ට මැලියම්වලට නම් මර්සිය දාන්ඩ බෑ.
ලී පතුරු වගේ ගෝනි ගණන් පුරවගෙන යන්ඩත් ඕන නෑනේ ප්‍රවාහනය කරන්ඩත් ලේසියි. කවුරුවත් සැක හිතන දේකුත් නොවෙයි. හුඟක් වෙලාවට පොලිසියේ මහත්තුරු දන්නෙත් නෑ අඳුරන්නෙත් නෑ. ඒ වුණාට වැඩ්ඩො දන්නව. එක රැයෙන් එක ටෙලිෆෝන් කෝල් එකෙන් ඒ වල්ලාපට්ට සමාජයම දැනුම්වත් වෙනව. දැන් ගහ කැපිල්ල පැත්තකට දාල මැලියම් හොයන්ඩ අරගෙන. ඉවක් බවක් නැතිව ගස් පෙරළල පතුරු ගහපු අපතයෝ ඔළුවේ අත්දෙක ගහගෙන කල්පනා කරනව ඒ කපල සුද්ද කරපු ගස්වල මැලියම් තිබුණද කියලා. කල්පනා කර කර හූල්ලනවා.
ඒ කට්ටිය කොහොම වුණත් එක අතකට මේ සිදුවෙච්චි දේ ස්වභාවධර්මයටත් සැනසීමක් මැලියම්වලට මිලක් දීල ගස් කපන එක නතර කරගන්න හැකි වීම. නැත්තන් කැලෑ පාළුවෝ වල්ලාපට්ට ගස් එක්ක වෛර පිරිමහන්න ගත්තු විදියට තව අවුරුද්දක් දෙකක් යනකොට ප්ලාස්ටික්වලින් වල්ලාපට්ට ගහක් හදල තියන්න වෙනව අනාගත දරුවන්ට දැක ගන්න.
කාගෙ වාසනාවට හරි ඒ කරුමෙන් බේරුණා. හරියටම වැඩේ ගියොත් මැලියම් ගන්ඩ හින්ද කලින් ගස් කපපු උන්ම දැන් ගස් රකින්ඩ ගනියි. කොහෙන් හරි පැළ බෝකරගෙන වගා කරන්ඩ ගනියි. දේශපාලක උත්තමයොත් දැන් වටෙන් ගොඩින් අත ගහල තියෙන හින්ද ඉස්සරහ කාලෙදි වල්ලාපට්ට මැලියම් බිස්නස් එකට හොඳ කාලයක් එයි කියන පෙර නිමිති පෙනෙනවා.
එහෙම නම් ඒ සමඟම මම කලින් කියපු, තාමත් ළදරු වියේ තියෙන කෘත්‍රිම වල්ලාපට්ට මැලියම් නිෂ්පාදනය. ඒකත් මේ සමඟම දියුණු කරගන්ඩ වෙනවා. දියුණු කරගන්ඩ දෙයක් නෑ මේ වෙනකොට හැම තැනම වාගේ වැඩේ පටන් ආරගෙන. සමහරු හැංගිලා. සමහරු නන්නත්තාරවෙලා. වහ බිව්ව වෙඩි තිබ්බ කියල විතරයි ආරංචි නැත්තේ.
වල්ලාපට්ට ගහෙන් පෙරෙන ඇත්ත මැලියම් නෙවේ. මිනිස්සු රවට්ටල විකුණන්ඩ හදන බොරු මැලියම් හදන විදිහ ලියාගන්ඩ හලාවත මාදම්පේ මුදලාලි රජාලා පොල් රා හදන හැටි කියල දුන්න ලිස්ට් එකට යටින් මේකත් ලියා ගත්තනම් හරි.
සාම්බ්‍රානි කිලෝ 01යි, පෙරුම්කායම් ස්වල්පයක්
සුදු කපුරු ග්‍රෑම් 250ක්, මීපැණි බෝතලයක්
(කළු පාට වෙන්න දාන එක තමයි අමතක වුණේ)
මේ සේරම හොඳට අනල කොණ්ඩ කැවුම් උයන්ඩ පිටි පදම් කරගන්න ගාණට උකුකර ගන්නවා. එහෙම නැත්නම් අතට ගත්තාම යාන්තම් ඇඟිලි කරු අතරින් පෙරිලා යන ගාණට දියකර ගන්නවා. වල්ලාපට්ට ගහක් ළඟට අරගෙන ගිහින් බෙනේට යටින් තැනක හොඳට ගුළිය ඔබන්න ඕන පොතු අස්සට කා වැදෙන්න. ටික ටික පෙරෙන ගමන් ඒක පැයක් දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම ගල්වෙනවා. ඊට පස්සේ පිහි තලයක් හරි කියත් තලයක් හරි දාලා ගලව ගන්නවා. ගලවනකොට එන්නේ ඇත්ත වල්ලාපට්ට ගහේ පොතුවල කුඩු කෑලිත් එක්ක. අන්න නියම මැලියම්. ගන්ඩ ආපු එකා පොතු කෑලි දැක්ක ගමන් සුවඳ ආපු ගමන් හොල්මන් වෙනවා. පත්තු කරල පෙන්වන එකයි තියෙන්නේ.
ඕනෙ නම් මැලියම් ගලවල ගත්තු ගහත් පෙන්වන්ඩ එක්ක යනවා. එතකොට වැඩේ තවත් ලේසියි. ගන්ඩ ආපු උන්ටත් පිස්සු හැදෙනවා. හැබැයි මේ මොන දේත් පරිස්සමෙන්. වැව් තාවුල්ලක හරි පිට කැලේකට ගිහින් හරි බිස්නස් එක කරන තරමට ඇඟට ගුණයි. නැත්තන් අර මඬුල්ලේ සෙට් එකට වාගේ ගෙවල්වල ඉන්ඩ හම්බෙන එකක් නෑ. ඒ වගේද ජීවිත.
අර වල්ලාපට්ට පතුරුනම් ගියේ හැට දාහයි. ඒ වගේද මේක. කිලෝ එක කෝටි එකහමාරයි. හොර මැලියම් කිලෝ දෙක තුනක් බිස්නස් කෙරුණොත් මොනවා නොවෙයිද.
පුදුමයි පාතාලයෝ, කුඩුකාරයෝ තාම මේවට බැහැල නැති එක. නැත්තෙම නෑ. පාතාලයත් රේස් එකේ ඉස්සරහින්ම දුවනව කියල ආරංචියි. ..... එතකොට කුඩු කාරයෝ ඒක අතහැරලා මෙව්වට එන්නේ නැත්තේ?
වල්ලාපට්ට උරන්ඩ දෙන්ඩ බැරි හින්ද, (ඉරුවත්) පිස්සෝ කරන්ඩ බැරි හින්ද. පිස්සෝ කරන්ඩ බැරි වුණොත් දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්නේ නැති හින්දා.
කතාව - පින්තූර - ප්‍රභාත් අත්තනායක
චන්ද්‍රසිරි මහගම
0 comments:
Post a Comment