පවුල් අවුල් කරන girl

‘‘මොනවද තමුසේ මේ කරන්නේ. මේ තරම් වයසට ගිහින් මගුල් පිස්සුව ගැහුවද? මෙච්චර කාලයක් හිටියේ සත් ගුණවත් උපාසකයෙක් වගේ. දරුවෝ කසාද බඳින වයසෙදි ද තමුසෙට මගුල් විසේ හැඳුනේ’’ ඇය කියාගෙන කියාගෙන ගියේ කටුගස්තොට නිවසට ගොඩවූ සිය සැමියාට බැණ වදිමිනි.

සිදුවූයේ කුමක් දැයි ඔහුට ඇදහිය නොහැකි දෙයකි. ඇය දිගින් දිගටම බැණ වදින්නීය.

‘‘මේ කෑ නොගහා ඉන්න. ඔයා මොනවද මේ කියන්නේ? මා මොනවා කළාට ද මේ?’’ ඔහු එසේ අසන්නේ සිදුවූයේ කුමක් ද යන්න ගැන අවබෝධයක් ලබා ගත නොහැකිවය.

මහනුවර දළදා මාළිගාවත්, අස්ගිරි මල්වතු උභය විහාරස්ථානත් නිරන්තරවම ඇසුරු කරමින් හැකි සෑම විටම අනුන් වෙනුවෙන් උපකාර කරන සුනන්ද මහතා මහා බෞද්ධ උපාසකයකු ලෙස ප‍්‍රසිද්ධව සිටියේය. සුදෝ සුදු ඇඳුමින් සැරසී සිය ව්‍යාපාර කටයුතු සඳහා නිතර නිතර මහනුවර සිට කොළඹ යන සුනන්ද මහතා කොළඹ රැුයක් ගත කරන අවස්ථා ද නැත්තේ නොවේ. බිරිඳගේ මේ චෝදනාව ඔහුට ඉවසිය නොහැකි දෙයකි. කිසිදා තමන්ට තමුසේ යනුවෙන් බැණ වැදී නැති ඇය සිටින්නේ මහත් කෝපයෙන් බවද ඔහු දනී.

නානකාමරයට වැදී ඇඟපත දෝවනය කැර ගත් සුනන්ද මහතා සාලයට පැමිණියේ සිය බිරිඳගේ වෙනස්වීමට හේතු සෙවීමේ රිසියෙනි.

‘‘ඔයාට මොක ද වෙලා තියෙන්නේ. යකෙක් වැහිලා වගේ මගේ ඇඟට කඩා පනින්නේ ?’’

‘‘මට මොකුත් වෙලා නැහැ. තමුසේ තමයි මේ ඔක්කොම කරන්නේ. ලැජ්ජා නැතිව පුතාගේ වයසේ ඉන්න කෙල්ලන්ට ගෙවල් අරන් දීලා කොළඹ යන්නේ ඔවුනුත් එක්ක ජවුසන් නටන්නනේ. තමුසේ ඊයෙත් ඒ ගෙදර නැවතිලා හිටියේ. හිතුවද මම දන්නේ නැහැ කියලා.

‘‘මොනවද මේ ඔයා කියන්නේ’’

‘‘ඇයි මම ඔප්පු කරලා පෙන්වන්න ද?’’ කියූ ඇය තම නවීන ජංගම දුරකථනයට ලැබුණු ඡායාරූපයක් ඔහුට පෙන්වූවාය. එහි සිටින්නේ සුනන්ද මහතාය. තමන් මේ ඡුායාරූපයේ සිටින බව දුටු ඔහු පුදුමයට  පත්වූවේය. පෙර දින රාත‍්‍රි තමන් සිත්ගත් තරුණියක සමග රාත‍්‍රිය ගත කරමින් සිටිය දී ඒ තරුණිය ඇගේ ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගන්නා ආකාරය ද ඔහු දුටුවේය. එය තම බිරිඳ අතට පත්වනු ඇතැයි ඔහු කිසිසේත්ම හිතුවේ නැත. මෙතෙක් තමන් බොදු මහ උපාසකයකු ලෙස ගොඩනගාගත් ප‍්‍රතිරූපය බිරිඳ හමුවේ බිඳ වැටී ඇත. තමන් සමස්ථ සමාජය ඉදිරියේ මුළුමනින්ම නිරුවත් වූ සෙයක් ඔහුට දැනෙන්නට විය.

කරන්නට කිසිවක් නැත. හොඳම සාක්ෂියක් බිරිඳට ලැබී තිබේ. ඇයට එස්.එම්.එස් පණිවිඩය එවූ දුරකථන ඇමතුමට කතා කර ඇත. ඉන්පසු ඔහුගේ තව ලිපිගොනු රැසක් අවුස්සා තවත් සම්බන්ධතා කිහිපයක් සොයා ගත් බව ද ඇය මොහොතකින් ඔහු හමුවේ අනාවරණය කළාය. පසුව ඔහුගේ ජංගම දුරකථනය ගත් ඇය කෑ ගසමින් එහි තිබූ එස්.එම්.එස් පණිවිඩ පිරික්සමින් සිටියාය. සියල්ල ආපසු හැරවිය නොහැකි ලෙස හෙළදරව්වී ඇත. සිය සිත්ගත් තරුණිය තමන් පාවා දී ඇති බව ඔහු දැනගන්නා විට සියල්ල සිදුවී අවසන්ය. ඒ තරුණිය සුධීරාය. සුධීරා ඇසුරු කරන තවත් තරුණියන් වන නිරෝෂාගේ අංකය ද, චතුරිකා ගේ අංකය ද සුනන්දගේ ජංගම දුරකථනයේ තිබී බිරිඳ සොයා ගත්තාය.

දින ගණනක් මේ පවුලේ අඩු දබර පැවතිණි.

‘‘තමුසෙලාට මම හැමදේම ලබා දීලා තියෙනවා.  ඕනම පිරිමියෙක් මේ වගේ වැඩ කරනවා. මම කරන්නේ වරදක් නෙවෙයි. ඒක මගේ පෞද්ගලික වැඩක්. ඒකට ඇඟිලි නොගහ ඉන්නවා. මට  ඕනෑ දේ මම කරනවා. තමුසෙලා මොනවා කරන්නද?’’ සිය බිරිඳ හඬා වැටෙද්දී සුනන්ද එසේ කියමින් බැන වැදුණේය.
පවුල් සංස්ථාව ටිකෙන් ටික දෙදරා ගියේය. සිය බිරිඳගේ කරච්චලය ඉවසාගත නොහැකි ඔහු කොළඹ ගියේය. කොළඹට ගොස් වෙනදා ව්‍යාපාරික කටයුතුවලට බව පවසමින් එක් රැයක් පමණක් එහි ගත කරන සුනන්ද මහතා දින කිහිපයක්ම නිවසට ආවේ නැත. බිරිඳ මේ ගැන සොයා බලද්දී ඇය දැනගත්තේ  ඔහු සුධීරාට මිලදීගෙන දුන් නිවසේ නතරවී ඇති බවයි.

අවසානයේ සුනන්දගේ බිරිඳ දරුවන් දෙදෙනාත් සමග තනිවූවාය. ඔහු ඉඳ හිට කටුගස්තොටට පැමිණියේය. එවිට දිනක් හෝ දෙකක් සිය නිවසේ ගත කරන ඔහු අවශ්‍ය මිල මුදල් දී ආපසු හැකි ඉක්මණින් කොළඹ යයි. නීත්‍යානුකූල බිරිඳ කටුගස්තොට සිටිය දී ඔහු පවුල් කන්නේ තමන්ට වඩා වයස අවුරුදු 25ක් ලාබාල සුධීරා නම් යුවතියක් සමගිනි.

මෙය අහම්බයෙන් සිදුවූවක් ද නොවේ. එමෙන්ම මෙලෙස බිඳවැටී ඇත්තේ සුනන්දගේ පවුල් ජීවිතය ද පමණක් නොවේ. තවත් බොහෝ විවාහ ජීවිත මේ ආකාරයෙන් බිඳවැටී ඇත. ඒ සියල්ල කෙළවරවී ඇත්තේ සුධීරා වැනි තරුණියන්ගේ බලපෑමෙනි. මේ තරුණියෝ ද එකිනෙකා හඳුනන්නෝය. ඔවුහු සංවිධානාත්මක ව වැදගත්, ධනවත්, කීර්තිමත් පවුල් විනාශ කරමින් සිය මඩිය තරකැර ගැනීමේ කූට සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් සිටිති.

මේ කල්ලියේ දැනට සාමාජික සාමාජිකාවෝ හත් අට දෙනෙක් සිටිති. සුධීරා, නිරෝෂා, චතුරිකා, ජයමාලි, මල්ෂා, ඉනෝකා, තුෂාරි මේ කල්ලියේ සාමාජිකාවෝය. මේ බොහෝ දෙනා පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැුකියාවල නිරතවී සිටිති. කොළඹ නගරයේ තැන තැන පදිංචිව සිටින ඔවුන් දැන හඳුනාගෙන ඇත්තේ බසයේ දී, දුම්රියේ දී හෝ තවත් මිතුරකුගේ මාර්ගයෙනි. පාසලෙන් ඉවත්ව තරුණ වියේදීම රැකියාවට ගොස් ඇත්තේ සිත්ගන්නා සුළු කතා බහත් ඉංග‍්‍රීසි හැසිරවීමේ හැකියාව හා මන බඳනා රූ සපුවත් සුදුසුකම් කරගනිමිනි. ඔවුන් පාසල් වියේ සිටම පෙම්වතුන් ඇසුරු කළ අයයි. මේ බොහෝ දෙනා සිය පෞද්ගලික ආයතනයේ හිමිකරුවන් සමග අනියම් සම්බන්ධතා පැවැත් වූහ. ඉන් පසු ඒ ආයතන ප‍්‍රධානියාගේ මිතුරන් අතටත් ගිය මේ යුවතියන් ඇතැම් ආයතනවලට විශාල ප‍්‍රමාණයේ ඇණවුම් ලබා ගැනීමට, කොන්ත‍්‍රාත් ගැනීමට ප‍්‍රධානීන්ට ලිංගික අල්ලස් ලබා දීමට ද භාවිතවී ඇත. අනතුරුව අද මේ කිහිප දෙනා එක්ව අපූරු වැඩකට අතගසා තිබේ. ඇතැම් විට මේ කියවන ඔබද මේ යුවතියන්ගේම හෝ මේ ආකාරයෙන් කල්ලි ගැසුණු තවත් යුවතියකගේ බිල්ලක් බවට පත්වී සිටිනවා විය හැකිය. නැත්නම් ඔවුන්ව දැනටමත් දැලේ වැටී ඉදිරියේදී බිල්ලක් බවට පත්වනු ඇත.

සුනන්ද මේ කල්ලියේ සැලසුමට හසුවී සිය පවුල් ජීවිතය ද අහිමි කරගෙන ඒ තරුණියන්ගේ ම උකුළට වැටිණි. ඔහු මේ කල්ලියේ ග‍්‍රහණයට හසුවන්නේ තවත් පුද්ගලයකුට දුන් විසිටින් කාර්ඞ් හෙවත් ආගන්තුක පත‍්‍රයක් හේතුවෙනි. ඇය එලෙස සුනන්දගේ දුරකථන අංකය රැගෙන ඇමතුමක් ගත්තාය. සුනන්දගේ ව්‍යාපාරික තොරතුරු ගැන කතා කළ ඇය ඔහු හා ටිකෙන් ටික මිතුරුදමක් ඇතිකරගෙන තිබිණි.

සර් කියමින් සුනන්ද ඇමතූ ඇය විටින් විට කම්මැලි කමට කියමින් කතා කරන්නට වූවාය. දිවියේ 50වැනි විය ද ඉක්මවා සිටින සුනන්ද ඇය සමග කරන කතා බහට යම් කැමැත්තක් දැක්වූවේය. එය අවසානයේ කෙළවර වූයේ අනියම් පේ‍්‍රම සම්බන්ධයකිනි. සුනන්ද කොළඹ ගොස් සුධීරා හමුවිය. සුධීරා මන බඳිනා යොවුන් තරුණියකි. ඇය ඔහුට සමීප සම්බන්ධතාවකට ඇරයුම් කරන්නේ සිය දුක්ගැනවිලි ද පවසමිනි. සති කිහිපයක් වරින් වර හෝටල් කාමරවල ඇය සමග ගත කරන සුනන්ද ඇයට කුඩා කාමරයක් කුලියට ගෙන දුන්නේ ඇගේ මුඩුක්කුවක් වන නිවස සාදා දෙන බවට ද පොරොන්දු වෙමිනි.

වරක් සුනන්ද ඇමතූ ඇය පැවසුවේ ලස්සන පුංචි නිවසක් විකුණන්නට දමා තිඛෙනවා තමන් දුටු බවයි. වහාම කොළඹ ගිය සුනන්ද තම මුදලින් ඒ නිවස මිලදී ගෙන ඇයට නැවතීමට අවස්ථාව ලබා දුන්නේ සියල්ල ඇය වෙනුවෙන් බව පවසමිනි. සුනන්දගෙන් ලැබුණු නිවසේ දැන් ඇය පදිංචිව සිටින්නීය. සුනන්ද ඇයට නිවස ලබා දී ඉන් නොනැවතුණේය. ඇයට කන්න අඳින්න අවශ්‍ය සියලූ කළමනා වෙනුවෙන් ඔහු වියදම් දැරීය. සතියකට දිනක් කොළඹ විත් එහි දවස ගත කරන සුනන්ද පිටව ගිය විගස ඇය දිනකට අනියම් පෙම්වතුන් තුන් හතර දෙනා මේ නිවසට ගෙන්වා ගන්නීය.

එමෙන්ම සුධීරාගේ මිතුරියෝ ද තමන්ගේ දැලේ වැටුණු ධනපති මැදිවයස් පිරිමි සමග රාත‍්‍රිය හෝ පැය කිහිපයක් ගත කරන්නේ සුනන්ද විසින් මිලදී ගන්නාලද නිවසේය. මේ ඒ කල්ලියේ ස්වභාවයයි. සිය වසඟයට වැටුණු සුනන්ද තමන් සන්තකයේම තබා ගැනීමට සුධීරා සැලසුම් සකස් කළාය. මේ සඳහා ඇය යෙදු උපාය වූයේ සුනන්ද තමන් සමග සමීපව සිටින ඡායාරූපයක් සුනන්දගේ බිරිඳට එස්.එම්.එස් පණිවිඩයක් මගින් යැවීමයි. ඇගේ උපාය සාර්ථක විය. අඩ නිරුවතින් තම සැමියාගේ සිරුරට සමීපව සිටින මේ යුවතියගේ ඡුායාරූපය දුටු සුනන්දගේ බිරිඳ තම සැමියා සමග දබර කරගනිද්දී ඔහු සුධීරාගේ සෙවණට වැටුණේ නිරායාසයෙනි. සුධීරා ජයගත්තාය.

සුධීරා ඡුායාරූප යැව්වේ සුනන්දගේ බිරිඳට පමණක් නොවේ. තම කාර්යාලයට පැමිණෙන වයස්ගත ධනවත් පිරිමින්ගේ අංක සොයා ඔවුන්ට ඇමතුම් ගන්නා සුධීරා සතියකට හෝ දෙකකට වරක් එවැනි සල්ලිකාරයෙක් සිය දැලේ දා ගැනීමට සමත් වූවාය. මේ ධනපතියන් ද ලාබාල යුවතියකගේ පහස ලැබීමට කැමැත්තෙන් සියලූ දේ කැපකර ඇය නඩත්තු කරයි. අවසානයේ තමන්ට ආදරය කරන්නට පටත් ගන්නා වයස්ගත ධනපතියාගේ සම්බන්ධය ඔහුගේ නිවසට හෙළිදරව්වන තැනට වැඩ සලසන්නේ ද සුධීරාය. ඇගේ පරමාර්ථය වන්නේ ඔහුගෙන් ඈත්වීම නොවේ. බිරිඳ සමග ඇතිවන ආරවුලෙන් පසු ඔහු තම සමීපයට ගැනීමයි.

සුනන්ද එලෙස තමන් අසලට ගැනීමට කළ සැලසුම හරියටම හරි ගියේය. නමුත් වරක් දෙවරක් එවැනි සැලසුම් වැරදී ඇය ඇසුරු කළ දානපතියන් ඇගෙන් ඈත් වූ අවස්ථා ද තිබිණි.

සුනන්දගේත් සුධීරාගේත් කතාව ඉන් එකක් පමණි. මේ කල්ලිය එදත් අදත් ධනවතුන් තමන්ගේ වසඟයට ගැනීමේ කූට සැලසුම් ක‍්‍රියාත්මක කරමින් සිටී. කෙසේ හෝ ඔවුන් වසඟයට ගන්නා ඔවුහු ඒ මිනිසුන්ගෙන් මාස ගණන් වියදම් ලබා ගනිමින් යැපෙති. මෙය එක්තරා යැපීම් මාර්ගයකි.

අප දන්නා මේ යුවතියෝ බොහෝ දෙනෙක් පෞද්ගලික ආයතනවල විධායක ශ්‍රේණියේ රැුකියා කරති. මේ යුවතියන්ගේ ඇමතුමට රැවටුනහොත් ධනයත්, ගෞරවයත්, පවුල් ජීවිතයත් අහිමි වන බව ඒකාන්තය.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment