විසිතුන් දෙනෙක්‌ එකතුවී 145ක්‌ ප්‍රාණ ඇපයට ගනිති

ජාතික, ළමා, කරාපිටිය, පේරාදෙණිය රෝහල්වල
විසිතුන් දෙනෙක්‌ එකතුවී 145ක්‌ ප්‍රාණ ඇපයට ගනිති.

හදිසි හෘද සැත්කම් පවා ඇනහිටී 
මියයන ගණනත් ඉහළ නගීවි...


කොළඹ ළමා රෝහල ඇතුළු රජයේ රෝහල් හතරක සේවය කරන හෘද හා පෙනහළු නිවේෂකයන් විසිතුන් දෙනා විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය නිසා හෘද සැත්කම් එකසිය හතළිස්‌ පහක්‌ පමණ මේ වන විට කල්දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ළමා රෝහල, කොළඹ ජාතික රෝහල, කරාපිටිය සහ පේරාදෙණිය යන රෝහල්වල මෙම වැඩවර්ජනය සිදු කරන්නේ මෙම සේවකයන් විසිතුන් දෙනාගේ ඉල්ලීම් තුනක්‌ මුල්කර ගනිමිනි.

හෘද සැත්කම් සිදුකරද්දී එම රෝගීන්ගේ පෙනහළු සහ හෘදය අක්‍රිය කර ඒවායේ ක්‍රියාකාරීත්වය යන්ත්‍රයක්‌ මගින් සිදුකරන අතර අදාළ සැත්කම් අවසන් වන තුරු මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කරන්නේ අදාළ සේවකයන් විසිනි.

ඔවුන් විසින් පසුගිය 25 වැනිදා මෙම වැඩවර්ජනය ආරම්භ කළ අතර සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන්ට මේ නිසා තවත් කාලයක්‌ බලාසිටීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙක්‌ "දිවයින"ට කීවේය.

වහා කළ යුතු හෘද සැත්කම්ද තිබෙන නමුත් වර්ජනය නිසා ඒවාද සිදුකිරීමට නොහැකිවී ඇත.

ප්‍රථම වරට ළමා රෝහලේද මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීම නිසා හෘද රෝගී දරුවන් වඩාත් අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ඉහත නිලධාරියා කීවේය.

මිය යන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව මෙම වර්ජනය නිසා ඉහළ යා හැකි බවද කී හෙතෙම මෙය ඉතා සංවේදී තත්ත්වයක්‌ බවද කීය.

හදිසි අනතුරු දීමනාව වැඩි කිරීම, අතිකාල දීමනා රේට්‌ ක්‍රමයට පරිවර්තනය කිරීම සහ 2006 චක්‍රලේඛය නිසා සිදුව ඇති වැටුප් විෂමතා ඉවත්කිරීම මෙම සේවකයන් විසිතුන් දෙනාගේ ඉල්ලීමය. මෙම ඉල්ලීම් ඉටුකළ යුතු බව පිළිගත් සෞඛ්‍ය අමාත්‍යංශය 2013.10.13 දා එම ඉල්ලීම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඉදිරිපත් කළ බවද ඉහත නිලධාරියා කීවේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මේ සම්බන්ධව මහා භාණ්‌ඩාගාරය, වැටුප් සේවක සාධන කමිටුව සමග සාකච්ඡා කර ඒකාබද්ධ තීරණයක්‌ ගෙන ඇතැයිද ඒ අනුව පළමු සහ දෙවැනි ඉල්ලීම් ඉටුකිරීමට එකඟත්වය පළවී ඇතැයි ද කී හෙතෙම මේ සම්බන්ධව අද (28 දා) තීන්දුව ලැබෙනු ඇතැයිද කීය.

2006 චක්‍රලේඛය මත සිදුව ඇති වැටුප විෂමතාව තුරන් කිරීම සඳහා අලුතින් පිහිටුවන ලද වැටුප් කොමිසමට ඉහත තුන්වැනි ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයිද ඒ සඳහාද ඉතා ඉක්‌මනින් විසඳුම් ලැබෙනු ඇතැයිද ඉහත නිලධාරියා කීය.

එම නිසා මෙම වර්ජනය අවසන් කර අද (28 දා) සේවයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය වර්ජකයන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment