පින්නවල අලි බලන්න පුරුදු වන ඇත්ගොව් ලියෝ

රඹුක්‌කන, පින්නවල අලි අනාථාගාරය මේ වන විට විදේශ විනිමය උපයන උල්පතක්‌ බවට පත්වෙලා. පසුගිය වසරේ මෙරටට පැමිණි හත් ලක්‍ෂ දාහත් දහසක්‌ පමණ වන සංචාරකයන්ගෙන් දෙලක්‍ෂ හැත්තෑ නව දහසක්‌ පින්නවලට අලි බලන්න පැමිණ තිඛෙනවා. මේ නිසා එම වසරේදී උපයන ලද ආදායම රුපියල් මිලියන 549.5 කි.

දැන් පින්නවල අලුත්වෙලා. අලි බලන පිරිමි අතරට දැන් අලි බලන ගැහැනු අයත් එකතු වෙලා. පින්නවල අලි බලන ඇත් ගොව්ලියන් එක්‌ක අපට කතා කරන්න හිතුණේ ඇත්ගොව් ලියන්ගේ සම්ප්‍රාප්තිය රටට අලුත් අත්දැකීමක්‌ හින්දා.




එම්. ජී. තිළිණි කුමාරි කරුණාරත්න (අවු. 30) අප සමග මුලින්ම කතා කළා. ඇය කියන්නේ මෙහෙම කතාවක්‌.

මා පදිංචිව සිටින්නේ රඹුක්‌කන, ඉඹුල්ගස්‌දෙණිය ප්‍රදේශයේ. මම දැන් අලි අනාථාගාරයේ අලි ඇතුන් පාලනය කිරීම පිළිබඳව පුහුණුව ලබමින් සිටිනවා. අපිට මාස 6 ක ප්‍රායෝගික සහ න්‍යායාත්මක පුහුණුවක්‌ ලැඛෙනවා. ඊට අමතරව විවිධ භාෂා දැනුම ලබා දෙනවා. මම ඇත්තටම සතුන්ට ආදරෙයි. ඒ නිසයි. මේ පුහුණුවට ආවේ. මම පොල්ගහවෙල ආදර්ශ මහා විද්‍යාලයෙන් අ. පො. ස. උසස්‌ පෙළ දක්‌වා ඉගෙන ගත්තා. මගේ පියා ස්‌වයං රැකියාවක්‌ කරන්නේ. මගේ පවුලේ කිසි කෙනෙකු මීට පෙර අලි ඇතුන් පාලනය කරලා නෑ. ඉස්‌සර නම් මම අලින්ට බයේ හිටියේ. නමුත් මෙහි පුහුණුවට ආවාට පස්‌සේ ඒ බය නැතිව ගියා. මට දැන් ඕනෑම අලියෙක්‌ ළඟට යන්න පුළුවන්. කිසි බයක්‌ දැනෙන්නේ නෑ.

ඒ. එල්. ඩී. වාසනා මධුෂාණි ලියනගේ 26 හැවිරිදි තරුණියක්‌ ඇය අප හා කතාවට එක්‌ වුණා.
මා පින්නවල ජාතික පාසලෙන් උසස්‌ පෙළ විභාගයත් සමත් වුණා. පින්නවල අලි අනාථාගාරයට අලි ඇතුන් පාලනය පිළිබඳ පුහුණු කිරීම සඳහා බඳවා ගන්නා බව දැනගන්න ලැබුණා. මේ නිසා මටත් ආශා හිතුණ. ඒ අනුව දැන් මම මෙහි පුහුණුව ලබනවා. මම පදිංචිව සිටින්නේ පත්තම්පිටිය, මාපිටිය කියන ගමේ. මට මල්ලී කෙනෙක්‌ ඉන්නවා. එයා තවම ඉගෙන ගන්නවා. මගේ පියා විදේශ රැකියාවක නිරතව සිටිනවා. අපේ පවුලක කිසි කෙනෙක්‌ අලි පාලනය කරල. නෑ. නමුත් මම සතුන්ට ආදරේ නිසා මෙතැනට ආවා. දැන් නම් අලි හොඳට හුරුයි. ඒ වගේම මෙහි අප සමඟ පුහුණුව ලබන අයියලා අපිට විශාල සහායක්‌ ලබා දෙනවා. පුහුණු කිරීම් සඳහා නිලධාරීන්ගෙන් අපිට උපරිම සහායක්‌ ලැඛෙනවා. දැන් නම් මම හරිම ආශාවෙන් තමා පුහුණුවීම් කරන්නේ. මුලදී තරමක බයක්‌ දැනුණා. දැන් නම් ඕනෑ අලියෙක්‌ ළඟට යන්න හිතට බයක්‌ දැනෙන්නේ නෑ.





ඒ. පී. ශෂීමා සෙව්වන්දි වීරසිංහ තවම අවුරුදු විස්‌සකි.

මගේ ගම කුලියාපිටිය, අනුක්‌කනේ. මම උසස්‌ පෙළත් සමත් වෙලා ඉන්නේ. ඇය කතාව අරඹන්නීය.

විශේෂයෙන්ම මේ සඳහා යොමුවීමට ප්‍රධාන හේතුව තමයි සතුන්ට මගේ තියෙන ආදරය. මුල සිටම මම අලින්ට බයක්‌ තිබුණේ නෑ. පුහුණුව නිසා හිතේ පුංචි හෝ චකිතයක්‌ තිබුණා. නම් දැන් ඒකත් නෑ. අපේ පවුලට සම්බන්ධ කිසිම කෙනෙක්‌ අලි මේච්චල් කරලා නෑ. අපේ ගමේවත් එහෙම කෙනෙක්‌ නෑ. ඇත්තටම මෙය නව අත්දැකීමක්‌ නිසා ඉතාම ආශාවෙන් තමා කරගෙන යන්නේ. මම හිතනවා කාන්තාවකට නිසි මඟපෙන්වීම සහ සහයෝගය ලැඛෙනවා නම් කළ නොහැකි දෙයක්‌ නොමැති තරම් කියලා. බොහෝ විට සිදුවන්නේ දිරිගැන්වීම මඟ පෙන්වීම සහයෝගය නොමැති වීමයි.

ඔවුන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අධ්‍යාපන හා පර්යේෂණ සහකාර උපාලි විමලරත්නය. ඔහු කියන කතාව මෙසේය.

පින්නවල අලි අනාථාගාරයට හෝ ඕනෑම තැනක අලි පාලනය කිරීමට කෙනෙකු බඳවා ගන්නවා නම් ඔවුන්ගේ පළපුරුද්ද පිළිබඳව බලනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. නමුත් අපේ අධ්‍යක්‍ෂ තුමාගේ මඟ පෙන්වීම මත තමයි, මේ විදිහට අලි පාලනය කිරීම සඳහා පුහුණුවට පිරිසක්‌ බඳවා ගත්තේ. ඒ අතරත් ගැහැනු ළමයි 4 දෙනකු ආවා. ඉන් එක්‌ අයෙක්‌ ඉවත්ව ගියා. දැනට තිදෙනකු අප ළඟ පුහුණුව ලබනවා. මේ තිදෙනා පිරිමි පුහුණු වන්නන් 40 දෙනකු සමග ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරනවා. මේ අයට අප විවිධ භාෂා දැනුම ලබා දෙනවා. විවිධ සංස්‌කෘතීන් පිළිබඳව දැනුවත් කරනවා. ඒක කරන්නේ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහායි. මාස 6 ක පුහුණු කාලය අවසානයේ ජාත්‍යන්තරව පිළිගැනෙන සහතිකයක්‌ ලබාදෙනවා.

සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ අනුර ද සිල්වා කියන පරිදි මෙය අලුත් අත්දැකීමක්‌.

ලෝකයේ කිසිම රටක අලි පාලනය කිරීමට කාන්තාවන් යොදාගෙන නෑ. නමුත් අප මෙය ආරම්භ කළේ කරුණු අධ්‍යයනය කරලයි. විශේෂයෙන් අලි පාලනයට පුහුණු අය බඳවා ගැනීම හැම විටම සිදු කළත් පුහුණුව සඳහා බඳවා ගන්න බවක්‌ දක්‌නට නෑ. ඒ අනුව මෙය ලෝකයේ ප්‍රථම අවස්‌ථාව වෙනවා. විශේෂයෙන් මෙම ආරම්භය සිදු කළේ සංචාරක ක්‍ෂේත්‍රයෙන් අලුත් මාවත් සොයා ගැනීමටයි. විදේශ විනිමය ඉපැයීමේද අපි මෙතෙක්‌ අනුගමනය කළ ගමන් මාර්ගයට එහා ගිය නව මාර්ග පිළිබඳව විමසිය යුතු වෙනවා. කාන්තාවන් මේ සඳහා යොදා ගැනීම තුළින් වාසි සහගත කරුණු කීපයක්‌ම ලැඛෙනවා. කාන්තාවන් සතුන් කෙරෙහි දැඩි ආදරයක්‌ දැක්‌වීම. ඉක්‌මනින් කෝප නොවීම, සූක්‍ෂ්මව කටයුතු කිරීම වැනි කරුණු මෙන්ම සංචාරක ආකර්ෂණය ගැනත් අපි හිතුවා. මේ සඳහා ප්‍රථම කණ්‌ඩායමට තරුණි යන් තිදෙනෙක්‌ බඳවාගෙන සිටිනවා. ඔවුන්ට මාස 6 ක නිසි පුහුණුවක්‌ ලබා දෙනවා. එම පුහුණුවෙන් පසුව බොහෝ විට ඔවුන් මෙහිම සේවය කිරීමට හෝ විදෙස්‌ රටවල සේවයට හෝ යෙදවිය හැකි මට්‌ටමට පුහුණු කරනවා. එපමණක්‌ නොවේ, ඔවුන්ට විවිධ ආගමික, සංස්‌කෘතික දැනුමද ලබාදෙනවා. අපගේ ඉලක්‌කය ඔවුන් මෙරට හෝ පිටරටක හෝ සේවය කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදීමයි. මෙය දැනට ඉතාම සාර්ථකව සිදු වෙනවා. මේ සඳහා පින්නවල අලි අනාථාගාරයේ සියලුම නිලධාරීන්ගේ මෙන්ම සේවක පිරිසගේත් සහයෝගය නොඅඩුව ලැඛෙනවා.

ලෝකයේ මුල්ම ඇත්ගොව්ලියන් හෙට අනිද්දාට කරලියට එන්න නියමිතය. ඔවුන් ලෝකයට හරිම අපූරු අත්දැකීමක්‌ එක්‌ කරනු ඇත.

රඹුක්‌කන 
නිහාල් පුෂ්පකුමාර
(දිවයින ඉරිදා සංග්‍රහය)




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment