ලංකාවේ තරුණ පරම්පරාව පමණක් නොව, බාල පරපුර පවා හෙරොයින් පානයට ඇබ්බැහි වෙමින් සිටින බවට සාක්ෂි කොතෙකුත් පොලිසිය අතට පත් වෙමින් තිබේ. විශේෂයෙන් පාසල් වියේ පසුවන වයස අවුරුදු 15 ත් 19 ත් අතර සිසුන්ගේ කලිසම්, කමිස සාක්කු, පොත් බෑග පරික්ෂා කිරීමේ දී මිලිග්‍රෑම් 60 ප්‍රමාණයේ හෙරොයින් පැකට් පොලිසියට අසු වූ අවස්ථා බොහෝය. රටේ අනාගත පරම්පරාව සතු ජීව වායුව විනාශ කරන හෙරොයින් මත් ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඛෙදා හරින පුද්ගලයන්ට කිසිම අනුකම්පාවක් මෙම සමාජයෙන් නොලැබිය යුතුය. දිය යුතු උපරිම දඬුවම තත්ත්වය, තරාතිරම නොබලා ලබාදීමට පොලිසිය වහා පියවර ගත යුතුව තිබේ.
එවැනි තත්ත්වයක් යටතේ හෙරොයින් කන්ටේනරයක් මෙරට රේගුවෙන් මුදා ගන්නට අගමැති කාර්යාලයේ ලිපි ශීර්ෂයක් යටතේ ලිපියක් නිකුත් කළ අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා පොලිසියට ලබා දෙන ප්‍රකාශ ‘තොත්ත බබාලාගේ සුරතල් කතා’ යනුවෙන් හඳුන්වන්නට මැලි නොවෙමි.
අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා කුඩු කන්ටේනරය මෙරටට ගෙන් වූ තක්කඩින් සමග සම්බන්ධ වී කුඩු ආනයනය කළ බවක් අපට කියන්නට බැරිය.
ඒ, එම ලිපිය හැර වෙනත් සාක්ෂි ජනමාධ්‍ය සතුව නැති බැවින්ය. සාක්ෂි සොයා ගැනීමේ වගකීම මුළුමනින්ම පැවරී ඇත්තේ පොලිසියට ය. නමුත් මෙකී දැවැන්ත අපරාධය ඉදිරියේ පොලිසියේ සමහර වගකිවයුතු අංශ හැසිරන්නේ හා ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කරන්නේ අගමැතිගේ ලේකම්වරයා සර්ව නිර්දෝෂි පුද්ගලයකු සේ සලකා ගෙන බව පෙනේ. පොලිසියට එසේ හැසිරිය හැකි දැයි ජනතාව තුළ මේ වනවිට නැගී තිඛෙන සැකය සුළුපටු නොවේ. එම සැකය හරහා සමාජයට වඩාත් සන්නිවේදනය වන්නේ කුඩු ජාවාරමුන් සමග අගමැති සම්බන්ධිකරණ ලේකම්වරයා ගේ තිබූ රහස් ගණුදෙනුවක් පොලිසිය කූට ආකාරයෙන් වසා දමන්නට සූදානම් වන බවකි. එපමණක් ද නොව, පසුගිය පළාත් සභා මැතිවරණයේ දී අගමැතිවරයාගේ පුත් අනුරාධ ජයරත්න මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු අවස්ථාවේ ඔහුට වියදම් කරන්නට රුපියල් කෝටි ගාණක් ‘පොම්ප’ කරවා ගන්නට කුඩු ජාවාරමුන්ගේ සහය අගමැතිවරයාද ලබා ගන්නට ඇති බවක් ජනතාව කල්පනා කරයි. මෙවැනි අස්ථානගත බරපතල චෝදනා ජනතාවගේ සිතේ ඇඬෙන්නේ නිකම්ම නොවේ. පොලිසියේ ක්‍රියා පිළිවෙතේ තිඛෙන සැකමුසු හැසිරීම් හේතුවෙනි.
පොලිසිය ජනමාධ්‍ය වෙත පවසා සිටියේ මෙම කන්ටේනරයේ හෙරොයින් සඟවා තිඛෙන බවක් නොදැන අගමැති සම්බන්ධිකරණ ලේකම්වරයා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශිර්ෂයක් යටතේ ලිපියක් නිකුත් කර ඇති බවයි. අගමැති සම්බන්ධිකරණ ලේකම් නොවී වෙන එකෙක් පොලිසියට එසේ කීවේ නම් බත්,මාලු කන්නට දතක් ඒකාගේ කටේ ඉතිරි නොකරනු ඇත.මේ අතර අග්‍රාමාත්‍ය සම්බන්ධිකරණ ලේකම්වරයා පවසන්නේ මෙම කන්ටේනරයේ නාන කාමර උපාංග හා ප්ලාස්ටික් ද්‍රව්‍ය තිඛෙන බවක් පැවසූ බැවින් එහි ගුදම් හා වැට් ගාස්තු අඩු කරන ලෙස ඉල්ලා පුද්ගලික සමාගමකට ලිපියක් නිකුත් කළ බවකි.
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම් හැසිරී තිඛෙන්නේ තනතුරට ගැලපෙන නුවණින් දැයි යන ප්රශ්නය සමග මතුවන අනෙක් අතිශය වැදගත් ප්රශ්නය වන්නේ මෙආකාරයට දෙන පිළිතුරු එක්වරම පිළිගන්නට තරම් පොලිසියේ සිටින්නේ ගොන් නාම්බන් රැලක්දැයි යන්නයි.
අගමැතිවරයා පවසා සිටියේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා තමන්ගේ සම්බන්ධිකරණ ලේකම්වරුන්ට ලිපි නිකුත් කරන්නට බලය පවරා දී තිබූ බවයි. පිටරටවලින් කන්ටේනර් හරහා භාණ්ඩ ගෙන්වන්නේ වෙළෙඳාමට ය. ඒවායේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නට හෝ සාකච්ඡා කරන්නට ආයෝජන මණ්ඩලය, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය, සමූපකාර අමාත්‍යංශ ඇතුළු තවත් ආයතන ගණනාවක් තිබේ. එම ස්ථානවලින් ප්රශ්නය විසඳා නොගෙන තමන් ළඟට පැමිණ ලිපියක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සැකයට තුඩු දෙන කරුණක් යැයි මෙම ලේකම්වරයාට කල්පනා නොවීම පුදුමයකි. එය සම්බන්ධිකරණ ලේකම්වරයාගේ රඟපෑමක් දැයි පොලිසියේ පරීක්ෂණවලට අසු නොවීම ඊටත් වඩා පුදුමයකි.
රටේ ගොවීන්ගේ, කම්කරුවන්ගේ, රෝගීන්ගේ, වැඩිහිටියන්ගේ, බුද්ධ ශාසනයේ මහමෙරක් උසට ප්‍රශ්න ගොඩ ගැසෙමින් තිබේ. ඒවා ජනතා ප්‍රශ්ණ යනුවෙන් හැඳින්වීමට පිළිවන. නමුත් නාන කාමර උපකරණ හා ප්ලාස්ටික් ද්‍රව්‍ය අඩංගු කන්ටේනරයක් රේගුවෙන් මුදා ගැනීමට ලිපියක් දීම ජනතාව පෙළෙන ප්‍රශ්නයකට දුන් සහනදායි පිළිතුරු ලිපියක් වූයේ කෙසේ දැයි අගමැතිවරයා කොතැනකවත් පිළිතුරු දී නැත. මේවා තනිකරම රඟපෑම් නොවේදැයි කියා ජනතාව අසන්නේ ඒ නිසාය.
කුඩු ජාවාරමක් හෝ වෙනත් අපරාධයක් සිදු වූ අවස්ථාවල දී පොලිසියේ අපරාධ හා මත්ද්‍රව්‍ය පිළිබඳ අංශ මැදිහත් වී ඒවාට සම්බන්ධ අපරාධකරුවන් කෙටි කාලයක දී අත්අඩංගුවට ගන්නා අයුරු අප දැක තිබේ. එහෙත් එම අපරාධයට දේශපාලන, ව්‍යාපාරික හේ වෙනත් බලවත් අංශවලින් සම්බන්ධයක් ඇත්නම් අපරාධ විසඳීම බොහෝ විට භාර වන්නේ රහස් පොලිසියටයි. අගමැතිවරයාගේ නමත් ඈඳුන මෙම කුඩු ජාවාරම ගැන වැඩිදුර පරීක්ෂණ මේ දක්වා රහස් පොලිසියට භාර නොදීමත් ගැටළු සහගතය.
(මෙයින් අදහස් වන්නේ රහස් පොලිසියට මෙම පරීක්ෂණය භාර දුන් ඇසිල්ලේ දිව ගොස් අගමැතිවරයා ඇතුළු ඔහුගේ සම්බන්ධිකරණ ලේකම්වරයා අත්අඩංගුවට ගන්නා බවක් නොවේ.)
මේ අතර ඉකුත් 17 වැනිදා අගමැති දී.මූ.ජයරත්න මහතා වෙනුවෙන්
පෙනී සිටි උගත් භික්ෂූන් වහන්සේලා පිරිසක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා කුඩු කන්ටේනරයට අගමැතිවරයාගේ සම්බන්ධයක් නැතැයි පැවසූහ. සිය දේශපාලන ගමනේ මේ තරම් දුරක් පැමිණි අගමැතිවරයා තමන්ගේ නමට පාරම්පරික අපහාසයක් සිදුකර ගන්නට කිසිසේත් පියවර නොගන්නා බවට තර්කයක් නැත. එහෙත් ලිපියක් නිකුත් වී තිබේ. එය නිකුත් කළ පුද්ගලයා ඉදිරිපත් වී සිටී. ලිපිය නිකුත් කළේ තමන් පොදුවේ දුන් උපදෙස් අනුව බව අගමැතිවරයා පිළිගනී. එසේ නම් මේ රටේ අගමැතිවරයාගේ පටන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා දක්වා දේශපාලකයින්ගේ ලේකම්වරුන් විසින් ලිපි හරහා මොන තරම් බලපෑම්, නියෝග රජයේ වගකිවයුතු අංශවලට ලබා දී ඒ හරහා අපරාධ කොතෙක් සිදුකර තිබේ දැයි යනුවෙන් මතුවන ප්රශ්නය සුළු කොට තැතිය හැකි නොවේ. අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ නැමැත්තා පවසන්නේ මෙබඳු ලිපි විශාල ප්‍රමාණයක් තමන් විසින් පසුගිය කාලයේ දී ලබා දී තිඛෙන බවයි.
කුඩු සිද්ධියට අදාළ විධිමත් පරීක්ෂණ කටයුතුවලින් පොලිසියට මේ තරම් ලෙහෙසියෙන් ලිස්සා යාමට ජනතාව සහ ජනමාධ්‍ය කොහෙත්ම ඉඩ ලබා දෙන එකක් නැත. කුඩු කන්ටේනරය මුල්කර ගනිමින් ප්‍රශ්න රාශියක් මේ වනවිට උද්ගත වී තිබේ. එම ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ පවා උණුසුම් ලෙස රැව් පිළිරැව් දීමට මග සලස්වන්නේ අග්‍රාමාත්‍ය තනතුරට ඇස ගසා ගෙන සිටින තවත් දේශපාලනඥයකුගේ උසි ගැන්වීම නිසා බවට ද රාවයක් පවතී. ඒවැනි යටිකූට්ටු කතාවලින් ජනතාවට පළක් නැත. ඒ වගේම එවැනි ඕපාදූප කතා පතුරවන්නන් කල්පනා කරනු ඇත්තේ කුඩු කතාව හරහා එල්ල වන මඩ පහර වෙනත් පැත්තකට හැරවීම විය හැක. ජනතාවට එයින්ද පළක් නැත. අගමැතිවරයා නම කියැවෙන මෙම ප්රශ්ණයෙන් එතුමා මුළුමණින්ම නිදොස් කොට නිදහස් කළ හැක්කේ විධිමත්,නිදහස්,අපක්ෂපාති හා විනිවිද පරීක්ෂණයකින් පම”. එබැවින් මෙම අර්බුද සියල්ල විසඳීමේ වගකීම ඇත්තේ පොලිසිය සතුවයි. එසේ නැතිව කුඩු කන්ටේනරයේ නියම හිමිකරුවා ඉන්නේ පකිස්තානයේ යැයි ‘පකිස්’ කතා මතුරමින් ප්රශ්නය වෙන දිශාවකට ඇදගෙන යන්යැි්ර්හ්7නට උත්සහ නොකරන ලෙස පොලිසියට කියා සිටින්නෙමු.
මේ අතරේ රුපියල් කෝටි තිස් පහකට පුරාවස්තු තොගයක් ජපන් ජාතිකයකුට අලෙවි කරන්නට ගිය ඉහළ දේශපාලනඥයකුගේ තවත් සම්බන්ධිකරණ ලේකම්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර මුදා හැර ඇතැයි වාර්තා වේ.ඒ ඔහු නිදොස් නිසා නොවේ.
මේ කරුණු පමණක් නොව, පොදුවේ ගෙන බලන කළ මේ රටේ බොහෝ දේශපාලනඥයන් හා ඔවුන්ගේ සම්බන්ධිකරණ ලේකම්වරුන් ඇතුළු ගෝල බාලයින් රොත්තමසොර මුලක් ලෙස වර්තමානයේ ක්‍රියා කරන බව පැහැදිලිය.
අනුර හොරේෂස්
0 comments:
Post a Comment