බඩු විකුණන හැටි සල්මන්ගෙන් ඉගෙන ගනිමු

බොලිවුඩ් සිනමාව කියන්නේ සල්ලි සෘජුව මෙන්ම වක්‍රවත් මවන දැවැන්ත වෙළෙඳපොළක්. බොලිවුඩය දැවැන්ත වෙළෙඳපොළක් කියන කතාව දිනකට ලක්ෂ 40කට ආසන්න ඉන්දියානු ජනතාවක් චිත්‍රපට බලන්න සිනමා ශාලාවලට යනවා කියන තොරතුරෙන්ම වැටහෙනවා. එසේම මුම්බායි නගරයේ පමණක් සිනමා ශාලා 250කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉන්දියානු සිනමා කර්මාන්තය වාර්ෂිකව ඉන්දියානු රුපියල් බිලියන 100කට අධික මුදලක් උපයනවා. එසේම ඔවුන් වසරකට චිත්‍රපට 1,250ට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. මීට බොලිවුඩ් සිනමාව වගේම කොලිවුඩ් සිනමාවත් අදාළ වෙනවා. බොලිවුඩය චිත්‍රපට දහසක් නිෂ්පාදන කරලා ප්‍රදර්ශනය කළත් ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, අමිර් ඛාන්, රිතික් රෝෂන්, ජෝන් ඒබ්‍රහිම් වගේ චරිත රඟපාන සිනමාපට අතිශයින්ම ජනප්‍රිය වෙලා බොක්ස් ඔෆීස් වාර්තා සුනුවිසුනු කරනවා. ඒ අතරින් සල්මාන් ඛාන්ට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්.


සුපිරි නළු සල්මාන් ඛාන් බොලිවුඩයේ අලෙවිකරුවා වශයෙන් හඳුන්වන්න පුළුවන්. මන්ද යත් සල්මාන් ඛාන්ගේ සිනමාපට අවසාන වන්නේ ඉන්දීය සංස්කෘතියට කිසියම් විලාසිතාවක් සහ මේනියාවක් දායාද කරලා. ඩබාන්ග්, වීර්, එක් තා ටයිගර්, බොඩිගාඩ් යන චිත්‍රපට ඒවාට හොඳම උදාහරණ. මෙම චිත්‍රපට මහා දැවැන්ත කලා කෘති නම් නෙවෙයි. ඒවා සරල සහ වෛවර්ණ මසාලා වර්ගයේ සිනමාපට වුණාට ජනප්‍රිය සිනමාව තුළ විශිෂ්ට සිනමා නිර්මාණ බවට පත්වුණා. මේ වනවිට ජීවිතයේ 48 වැනි කඩඉම පසු කරමින් ඉන්න සල්මාන් ඛාන් පෙනුමෙන් මෙන්ම අදහස්වලින්ද වයසට නොයන නිසා ඔහු ඉන්දියානු සිනමාව තුළ හඳුන්වන්නේ "සදාතනික යෞවනයා" වශයෙන්.
ගොඩක් අය සල්මාන් ඛාන් ගැන ගොඩක් ඕපදූප දන්නවා. ඒ අතරින් ප්‍රසිද්ධම කාරණය වෙන්නේ අයිශ්වර්යා රායි සහ කත්‍රිනා කායිෆ් කියන නිළියන් සමඟ ඔහු පැවැත්වූ දීර්ඝ කාලීන ආදර සම්බන්ධතා. නමුත් අද අපි කතා කරන්නේ කවුරුත් වැඩිය නොදන්නා සල්මාන් ඛාන් නම් අලෙවිකරුවාගේ අලෙවිකරණ උපක්‍රම කිහිපයක් ගැන මිසක් වැඩකඩ නැති ඕපාදූප ගැන නෙවෙයි.

මෑතකදී තිරගතවීම ඇරැඹූ "ජයේ හෝ" සිනමාපටය ගැන කතාබහ කරලම සල්මාන්ගේ අලෙවිකරණ කටයුතු ගැන කතා කරමු. ධූම් 3 චිත්‍රපටය ඉපයූ ආදායම ඉක්මවා යන ආදායමක් ලබන චිත්‍රපටයක් බවට ජයේ හෝ චිත්‍රපටය පත්වෙනවා කියලා සිනමා විචාරකයන් අනාවැකි පළකරලා තියෙනවා. දැනටමත් ඒ අනාවැකිය තහවුරු කරමින් ජයේ හෝ සිනමාපටය ලොව පුරා අති සාර්ථකව ප්‍රදර්ශනය වෙනවා. ජයේ හෝ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ සල්මාන්ගේ මල්ලි සොහයිල් ඛාන්. චිත්‍රපටය කරළියට ගෙනෙන්න පෙර සල්මාන් ඛාන් ඇතුළු නිෂ්පාදක කණ්ඩායම දියත් කළ අලෙවි උපක්‍රම ඉතා විශිෂ්ටයි. මෙවර ඔවුන් ඔවුන්ගේ පාරිභෝගිකයා වන රසිකයාව සිනමාපටයේ නිෂ්පාදන කටයුතුවලටම දායක කරගත්තා. ඒ ඔවුන් ජයේ හෝ චිත්‍රපටය වෙනුවෙන් පෝස්ටරයක් නිර්මාණය කරන රසිකයාට ත්‍යාගයක් ලබාදෙන්න කටයුතු කරන තරගයක් ආරම්භ කරලා. ඒ වගේම එම පෝස්ටරය චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදාගන්නත්

චිත්‍රපටයේ අලෙවිකරණ සහ නිෂ්පාදක කණ්ඩායම තීරණය කළා. රසිකයන්ට මේක ඉතා වටිනා අපූරු අවස්ථාවක් වුණා. ට්විටර් සහ ෆේස්බුක් කියන සමාජ සම්බන්ධතා වෙබ් අඩවි මඟින් සල්මාන් ඛාන්ම ඔහුගේ රසිකයන්ට තරගය සඳහා සහභාගි වෙන්න අරාධනා කළ නිසා සල්මාන්ගේ ඉල්ලීම පිස්සුවෙන් වගේ රසික රසිකාවියන් භාරගත්තා. එසේම තවත් තරගයක් පවත්වලා ජයේ හෝ පෝස්ටරයක පෙනී සිටින්න රසිකයන්ට අවස්ථාව උදාකරලා දෙන්නත් ඔහු කටයුතු කළා. සල්මාන් ඛාන් ෆේස්බුක් සහ ට්විටර් මඟින් ඇහුව ප්‍රශ්න දෙකට නිවැරැදි පිළිතුර එවන රසිකයන්ගේ පිංතූර යොදාගෙන ජයේ හෝ චිත්‍රපටයේ තවත් පෝස්ටරයක් නිර්මාණය කරන්නත් ඔහු තීරණය කළා. සල්මන්ගේ මෙම කටයුතුවල උපක්‍රමය වුණේ චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ සහයෝගයෙන් නිමැවූ නිර්මාණයක් බවට පත්කරමින් විශාල ළැබැඳියාවක් සිනමාපටය තිරගත වෙන්න කලින්ම ගොඩනඟා ගැනීම.

සල්මාන් ඛාන් ඔහුගේ ඩබාන්ග් චිත්‍රපටය තුළ විලාසිතා කිහිපයක්ම කරළියට ගෙන ආවා. කොරලය පිටුපස අව් කණ්ණාඩිය පැලඳීම ඉන්දියානු තරුණයන් අතර ඉතා ප්‍රසිද්ධයි. මෙවර සල්මාන් ඛාන් හඳුන්වා දෙන්නේ ජයේ හෝ අත් පලඳනාව හෙවත් ජයේ හෝ බේ්‍රස්ලට් එක. සිනමාපටයේ ප්‍රධාන චරිතය පලඳින අත්පලඳනාව මෙවර ඔවුන්ගේ ප්‍රධාන විලාසිතාව බවට පත්වෙලා තියෙනවා. චිත්‍රපටයෙන් ලාභ ලැබෙනවාට අමතරව ජයේ හෝ බේ්‍රස්ලට් සහ ටී ෂර්ට් අලෙවි කිරීමෙන්ද ලාභ හොයන්න පටන්ගෙන තියෙනවා. සල්මාන් ඛාන්ගේ ජයේ හෝ චිත්‍රපටයේ ෆේස්බුක් පිටුව සඳහා ලක්ෂ 14ක ප්‍රමාණයක් සිනමාපටය සිනමාශාලාවල ප්‍රදර්ශනය කරන්න කලින්ම කැමැත්ත ප්‍රකාශකර තිබීම ඔවුන්ගේ පූර්ව ප්‍රචාරක කටයුතුවල සාර්ථකත්වය පෙන්වන ප්‍රධානම උදාහරණයක්. එසේම සල්මාන් ඛාන් පෞද්ගලික ෆෙස්බුක් පිටුවට ලක්ෂ 130ක ප්‍රමාණයක් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මෙය සැබැවින්ම අසීමිත ප්‍රතිචාරයක්. සල්මාන් තරුණයෙක් නොවුණත් ෆෙස්බුක්, යූ ටියුබ් වැනි නවීන අත්දැකීම්වල හරය සිය සන්නම ගොඩනඟා ගන්න අවශ්‍ය අවස්ථාවලදී උපක්‍රමශීලීව භාවිත කරනවා.

ජයේ හෝ සිනමාපටයේ මූලික අදියර සාර්ථක වෙන්න තවත් බලපෑව ඉතාම වැදගත් සාධකයක් වුණේ සල්මාන් ඛාන් කියන සන්නමට ඇති අසීමිත ඉල්ලුම. බොහෝ දෙනෙක්ට සල්මාන් ඛාන් පෙනෙන්න වැඩිය හිතලා බලලා වැඩ කරන්නේ නැති තවමත් කෙළිලොල්ව ජීවිතයක් ගෙවන තරුණයෙක් විදියට. නමුත් ඉන්දියානු සිනමාවේ ඉන්න නළුවන් අතරින් තම සන්නම ගැන වැඩිපුරම හිතන නළුවා වෙන්නේද සල්මාන් ඛාන්. ඔහු නිතරම තම සන්නමේ ප්‍රබලත්වය අඛණ්ඩව තියාගන්න නිරන්තරව උත්සාහ ගන්නවා. එක් පැත්තකින් ඔහු සමාජ සුබසාධක කටයුතු වෙනුවෙන් ප්‍රබලවම දායක වෙනවා. ඕඥඪදඨ ඩ්භථචද වැඩසටහන එයින් විශේෂයි. ඒ වගේම ඔහු ඔහුට ලැබුණ ෆිල්ම් ෆෙයාර් සම්මාන පවා වෙන්දේසියේ තබමින් අලෙවිකරලා එම මුදල් අසරණ පුද්ගලයන්ට පිරිනමන්න පොලඹනවා. එසේම ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ක්ෂේත්‍රයේ බොහෝ දෙනා වෙනුවෙන් චිත්‍ර අඳින සල්මාන් ඛාන් සහෝදර නළු නිළියන්ගේ හිත දිනාගෙන තියෙන්නේ ගැටලු විසඳන්න නොබියව ඉදිරිපත්වෙන පුද්ගලයෙක් විදියට.

2013 වසරේ ගූගල් සමාගම සිදුකළ සමීක්ෂණයන්ට අනුව පරිශීලකයන් අන්තර්ජාලය මඟින් වැඩිපුරම සොයලා බැලුව ජනප්‍රිය ඉන්දියානුවා වන්නේද සල්මාන් ඛාන්. සල්මාන් ඒ තරම් ජනප්‍රිය වුණත් දේශපාලනයට එන්න නම් තාම කිසිම අදහසක් නැහැ. පොඩ්ඩක් ජනප්‍රිය වුණ ගමන්ම රට පාලනය කරන්න යන්න හදන සමහර ජනප්‍රිය චරිතවලට මෙම ජනප්‍රිය නළුවා හොඳම උදාහරණයක්. නමුත් සල්මාන් ඛාන් දේශපාලනය සමඟ අත්වැල් බැඳගෙන යන නළුවෙක්. ඔහු මෑතකදී ඉන්දියානු අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මූඩි මුණගැසිලා රටේ දේශපාලන තත්ත්වය ගැන සංවාදයක් පවත්වලා තියෙනවා. සල්මාන් රූපවාහිනි සංවාදවලදී පවා ඉතාම වුවමනාවෙන් සහ ඉතාම පරිස්සමින් කතා බහ කරනවා. ඔහු සෑම වෙලාවකම සිනමාපටවලට පෙනී සිටින හිත හොඳ වීරයා වගේම සැබෑ ජීවිතයේදීත් පෙනී සිටින්න උත්සාහ කරන නිසා අනෙක් නළුවන් තවමත් දිනා නොගත් විශේෂ ඇල්මක් සල්මාන් ඛාන් අත්පත් කරගෙන තිබෙනවා. එය දකුණු ඉන්දියානු සිනමාවේ රජිනි කාන්ත්ට හිමිවෙලා තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්ට සමානයි. "ජනතාවගේ කලාකරුවා" විදියට ප්‍රේක්ෂක මනසේ ස්ථානගතවීම ඔහුගේ දිගු කාලීන අලෙවිකරණ උපක්‍රමය. මොකද ජනතාවගේ කලාකරුවෙක් වුණොත් රඟපෑවත් නැතත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙනවා. හරියට විජය කුමාරතුංග සහ ජෝතිපාල ශ්‍රී ලාංකේය කලා කෙත තුළ නෙළා ගත්ත අස්වැන්න වගේ. ඔවුන් මිය ගිහින් දශක දෙකක් ඉක්ම ගියත් තාමත් ලංකාවේ සිනමා තරුව විජය. ගායන තරුව ජෝති. ඊට හේතුව ඔවුන් ජනතාවගේ කලාකරුවන් වීමයි.

කරන් ජොහාර් වරක් කොෆි විත් කරන් වැඩසටහනේදී සල්මාන් ඛාන්ට ඔහු ගැන වාක්‍ය 3ක් කියන්න කියලා කියනවා එහිදී සල්මාන් ඛාන් මම විශිෂ්ට කොල්ලෙක්... මම විශිෂ්ට කොල්ලෙක්... මම විශිෂ්ට කොල්ලෙක්... කියලා ඔහු පිළිබඳ කියන්න තියෙන කරුණු ත්‍රිත්වය දක්වනවා. සල්මාන් සෑම වෙලාවකම ඔහුගේ විශ්ෂ්ට පෞරුෂය තිරයේදීත් තිරයෙන් පිටතදීත් පෙන්වන්න උත්සාහ කළා. පුද්ගල සන්නාමකරණය සල්මාන් ඛාන් පතපොතින් ඉගෙන ගත්තේ නැතත් ප්‍රායෝගිකව එය ඉතා ඉහළින් භාවිත කළා. ඔහු ඔහුගේ වීරත්වය මුසුවූ ප්‍රේමණීය විලාසය දශක දෙකක සිට අඛණ්ඩව පවත්වාගෙන එනවා. හැම චරිතයක්ම රඟපාන්න පුළුවන් කියලා පෙන්වන්න නොගැළැපෙන චරිත රඟපාන්න ගිහින් නා ගත්තේ නැහැ. කොකා කෝලා සමාගමට කාර් සමාගමක් පටන් ගන්න වුණත් සල්ලි තියෙනවා වුණාට ඔවුන් කොකා කෝලා කියන නමෙන් කාර් අලෙවි කරන්න යන්නේ නැහැ. එහෙම වුණොත් ඔවුන්ගේ සිසිල් බීම සන්නම සුනුවිසුනු වෙලා යනවා. මෙම නිසා ප්‍රබල සන්නමක් ලෙස ගොඩනඟන්න නම් එක ක්ෂේත්‍රයක හොඳට අඩිය තියාගෙන සිටිය යුතුමයි. එහෙම නැතිව ක්‍ෂේත්‍ර හතර පහක සාමාන්‍ය චරිතයක් බවට පත්වීමෙන් සන්නමට ඇති බලය අඩුවෙනවා. පුද්ගල සන්නාමකරණය ගැන හදාරන්න හොඳම උදාහරණයක් හැටියට සල්මාන් ඛාන් හඳුන්වන්න පුළුවන්.


කැලුම් වැලිගම - kelumweligama@gmail.com



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment